loader image

අපි ගැන

මෙහෙවර

ඉගෙනුම් ඉගැන්විමී ක්‍රියාවලිය තුළ සාරධර්ම අගයන සහජීවනයෙන් කටයුතු කරන පරිසර හිතකාමී නිරෝගිමත් දියණියක ලොවට තිළිණ කරමු.

අපගේ දැක්ම

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් වීශිෂ්ට දරුවෙක්

අප පාසලේ ඉතිහාසය

7

වත්මන් විදුහල්පති

ඩබ් එන් පී පෙරේරා

7

2005-2009

එස් ආර් බීටා තිසේරා

7

1999-2005

එස් ආර් ඉවෙන්ජලින් ජයසූරිය

අප පාසලේ ඉතිහාසය

වර්ෂ 1874 දී ආරම්භ කර ඇති මෙම විදුහල පළමුවෙන් පිහිටා තිබී ඇත්තේ වෙන්නප්පුව ශු.ජුසේ මුනිදුන්ගේ දේවස්ථාන භූමියේ බව සඳහන් වේ. එවිට දේවස්ථාන භාරව කටයුතු කර ඇත්තේ නිර්මල මරිය නිකායික ගරු චූනවෙල් පියතුමන් විසිනි. එවකට මෙම පාසල සිංහල ගැහැණු පාසල ලෙස නමි කර තිබූ අතර ශිෂ්‍යාවන් 138 ක් සහ ගුරුභවතුන් 05 දෙනෙකු ඉගැන්වීමි කටයුතු කර අති බව සඳහන් වේ.
අධ්‍යාපන පසුබිමකට අඩිතාලම ඇති කළ නිර්මල මරිය නිකායික චූනවෙල් පියතුමන් විසින් කළ ආරාධනයට එක් වූ ශුද්ධවු පවුලේ පැවිදිසොයුරියෝ පාසල් අධ්‍යාපන සේවය ආරමිභ කරන ලදී. වර්ෂ 1885 ජනවාරි මසදී ළමුන් 150 ක් පමණ වූ වෙන්නප්පුව සිංහල ගැහැණු පාසල, ශුද්ධවු පවුලේ සොහොයුරියන්ගේ පාලනයට බාර දී ශු. ජුසේ මුනිදුන්ගේ දේවස්ථාන භූමියෙන් වෙන් කර දැනට මෙම විදුහල පිහිටා ඇති කන්‍යාරාම භුමියට ගෙනවිත් ඇති බවද සඳහන් වේ. එවකට දේවස්ථාන භාරව කටයුතු කර ඇත්තේ ගරු ජෝන් ඇලෝසියස් (නි.ම.නි.) පියතුමාය. අතැති මුදල් ප්‍රමාණය අනුව මේ ප්‍රදේශයේ කුඩා ඉඩමි කැබලි මිලදී ගනිමින් වෙන්නප්පුව ශුද්ධවු පවුලේ කන්‍යාරාමයත් අධ්‍යාපනය සඳහා අවශ්‍ය ගොඩනැගිලිත් මහත් කැපවීමෙන් සහ දුෂ්කරතා රාශියක් මැද විදේශීය ගරු මව්තුමියන්ගේ මඟ පෙන්වීම යටතේ ඉඳි කරන ලදී. ප්‍රදේශයේ අවශ්‍යතාව අනුව විවිධ දූත සේවාවන් මේ සමග ආරමිභ කරන ලදී. මෙම පැවිදිසොයුරියෝ විශේෂයෙන් කාන්තා අධ්‍යාපනය තුළ කාන්තා උදාරත්වය රැක ගනිමින් දෙවිඳුන්ට ප්‍රසන්න ජිවිතයක් ගත කිරීමේ වගකීම අධ්‍යාපනය තුළින් සහ විවිධ සේවාවන් තුළින් පෙන්වා දුන්හ. මෙම විදුහල එදා සිට සිංහල බාලිකා පාසල ලෙස නම් කරන ලදී. 1962 වන විට මෙහි සිංහල ළදරු පාසල 1 -5 දක්වා ද සිංහල බාලිකා විදුහල 6 -11 දක්වා ද තිබී ඇති අතර 1962-10-09 දින පාසල් දෙකම රජයට පවරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇත.
එහි පළමු විදුහල්පතිනිය ලෙස ගරු මේරි ප්‍රෲඩෙන්සියා පැවිදිසොයුරිය කටයුතු කර ඇත. ගරු සේක්‍රඩ් නම් මවිතුමියගේ කාලයේදී එනම් 1929 දී ආරම්භ කරන ලද ඉංග්‍රීසි බාලිකා පෞද්ගලික පාසලද 1956 දී ආරම්භ කරන ලද සාන්ත මරියා පෞද්ගලික පාසලද 1971 ජනවාරි මාසයේ රජයට පවරා ගැනීමත් සමඟ 1874 ආරම්භ කරන ලද පාසලේ හා 1971 දී රජයට පවරා ගත් පෞද්ගලික විදුහල්වලද දරුවන් එකතු කර රජයේ කනිටු විදුහල හා රජයේ බාලිකා විදුහල වශයෙන් නම් කර දෙමාපිය අදහස් අනුව විදුහල් දෙකක් වශයෙන් පැවිදි සොහොයුරියන්ගේ පාලනය යටතේ පවත්වා ගෙන යාමට තීරණය කර ඇත.
1976-02-26 දින ලොග් සටහනට අනුව අංක හලා/පාස/2/783 හා 1976-02-11 දින දරණ හලාවත ප්‍රාදේශිය අධ්‍යාපන අධ්‍යක්ෂගේ ලිපිය මගින් මෙම විදුහලේ නම මින් ඉදිරියට හලා/වෙන්නප්පුව ශුද්ධවු පවුලේ කනිටු බාලිකා විදුහල යනුවෙන් භාවිත කිරීමට අනුමත කර ඇත. එදා සිසු දියණියන් 138 කින් ආරම්භ කර අද වන විට සිසු දියණියන් 913ක ප්‍රමාණයකට අධ්‍යාපන අවස්ථා සලසමින් මහඟු සේවාවක් ශු.පවුලේ සොයුරියන්ගේ නායකත්වය මඟින් ඉටු කරනු ලබයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව ප්‍රාථමික පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 2016 වර්ෂයේ 40ක් වූ අතර ක්‍රමයෙන් 2021 වන විට 35ක් දක්වා සීමා කර ඇත. ඒ හෙයින් 1000ට වඩා වැඩි පාසල් ගණයට අයත් වූ අප පාසල 2018 වර්ෂයේ සිට 1000ට වඩා අඩු පාසල් ගණයට අයත් වේ. සිසුවියනට උසස් අධ්‍යාපනයක් ලබා දීම සඳහා ඉඩ සලසමින් 6 ශ්‍රේණියේ සිට ඉගෙනුම ලැබීමට සුදුසු පරිසරයක් දායාද කර දීම සඳහා විදුහල්පති තුමිය ඇතු`එ ඇඳුරු මඬුල්ල, දෙමාපියන් හා ප්‍රජා දායකත්වය තුළ උත්සහ දරති.
අප දකිනා වර්තමානය දක්වා සැලසුමි කළේ ශු.පවුලේ පැවිදිසොයුරියන්ගේ නායකත්වයෙනි. මෙවැනි උදාරතර ඉතිහාසයකට මං පෑදු , විවිධ කැපවීමි කළ, අද දක්වා කැපකිරීමි කරන ශු. පවුලේ පැව්දි සොහොයුරියන්ව බැතිබරව සිහි කරමු. ඔවුන්ට අත්වැලක් වෙමින් කීර්තිමත් ඉතිහාසයකට කැපකිරීම් කර හවුල්කරුවන් වූ හැමදෙනාවමද දැනටත් එයට උරදෙමින් කටයුතු කරන සියළු දෙනාවද කෘතවේදීව සිහිපත් කරමු.

පාසලේ ඉගෙණුම ලබන දරුවන්ගේ සමාජ හා ආර්ථික පසුබිම.

මූලික වශයෙන් ගත් කල බාලිකා ප්‍රාථමික පාසලක් වන අතර කතෝලික ආගම ප්‍රධාන කොට ගත් රජයේ පාසලකි. 1971 දී රජයට පවරා ගෙන ඇති අප පාසලේ මෙහෙයවීම් කටයුතු සිදුවනුයේ පැවිදි සොයුරියන්ගේ ප්‍රමුඛතාව යෙනි. සිසුවියන් බහුතරයක් කතෝලික ආගමික වන අතර බෞද්ධාගමිකයන් සුළුතරයක් ද අධ්‍යාපනය ලබයි.

සමාජ සංස්කෘතික වශයෙන් ගත් කල බොහෝ දෙනෙකු කතෝලිකයින් වන හෙයින් ඉතාම සුළුතරයක් බෞද්ධාගමිකයන් වේ. දරුවන්ගේ සමාජ ආර්ථික පසුබිම පිළිබඳ මූලිකව විග්‍රහර බැලුවහොත් අපට හඳුනාගත හැකි උප සංස්කෘතීන් කිහිපයකට අයත් දරුවන් මෙහි ඉගෙනුම ලබයි.

ඉතාලිය ප්‍රමුඛ කොටගත් විදේශගත පවුල්වල දරුවන්, එමෙන්ම රජයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ දරුවන්, ධීවර කර්මාන්තයේ හා ඊට සම්බන්ධ විවිධ වෘත්තීන්වල යෙදෙන දෙමාපියන්ගේ දරුවන්, මෙන්ම විවිධ ස්යං රැකියා හා කුඩා වෘත්තීන් වල යෙදෙන්නන්ගේ දරුවන් ලෙස හඳුනාගත හැකිය. විදේශගත දෙමාපියන් සිටින දරුවන් වසරකට එක් වරක හෝ කෙටි කලකට විදේශගත වීම දැකගත හැකි සුලබ සිදුවීමකි. රාජ්‍ය සේවයේ යෙදෙන දෙමාපියන් ලෙස දැක්වූ පිරිසෙහි විධායක ශ්‍රේණියේ සිට කණිෂ්ට කාර්ය මණ්ඩල දක්වාම විහිදී ගිය දෙමාපියන් සිටී. ධීවර කර්මාන්තය හා ඒ ආශ්‍රිත රැකියාවල යෙදෙන දෙමව්පියන් ගත්කල විවිධ පරිමාණ මත්ස්‍ය ව්‍යාපාරිකයන් මෙන්ම ඉතා සුළු ධීවර කර්මාන්තයේ යෙදෙන දෙමව්පියන් ද ඒ අතර සිටී.

අවට ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ දරුවන්ට මූලිකත්වයක් ලබා දෙමින් පාසලට ළමුන් ඇතුළත් කර ගන්නා අතර එහිදී දරුවන්ගේ ආර්ථික පසුබිම පිළිබඳ කිසිදු මූලිකත්වයක් දෙනු නොලබන අතර නිර්ධන, මධ්‍යම, හා ධනවත් යන ත්‍රිවිධ ආර්ථික මට්ටම් වලට අයත් දරුවන් මෙම පාසලේ ඉගෙනුම ලබයි. මෙම පාසල තුළ ඉගෙනුම ලබන සියලුම දියණියන් ඉතාම විනයානුකූලව සමාජයට වැඩදායි දියණියන් බවට පරිවර්තනය කිරීමේ මූලික අරමුණ පෙරදැරිව විදුහල්පති පැවිදි සොයුරියන් හා ගුරුමඩුල්ල අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කරනු ලබයි.

Skip to content